Friday, July 13, 2018

ආයුෂ වඩන ආයුර්වේදය..

"ආයුර්වේද" කියන යෙදුම ලාංකීය සමාජයේ හැමෝටම වගේ බොහොම පුරුදු දෙයක්. නමුත්, මතුපිටින් අතගෑම විනා ආයුර්වේදය කියන්නෙ මොකක්ද, ඒ වෛද්‍ය ක්‍රමය අනෙක් වෛද්‍ය ක්‍රමවලින් වෙනස් වෙන්නෙ කොහොමද කියල විමසා බලන අය බොහොම අඩුයි.

ඉතින්, මෙතැන් සිට ඇරඹෙන මේ ලිපි පෙළ ආයුර්වේදය දන්නා අයට වඩා විශේෂයෙන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන නිසි අවබෝධයකින් තොර අයට, වසර දහස් ගණනක් තිස්සේ භාවිතා වෙන මේ අපූරු වෛද්‍ය ක්‍රමය ගැන පැහැදිලි, ක්‍රමවත් අදහසක් ලබාගන්නට උදව්වක් වේවි...





ආයුර්වේද යන්නෙහි අරුත "ජීවිතය පිළිබඳ විද්‍යාව" (Science of the life) ලෙස සරලවම හඳුන්වන්නට පුළුවන්. මෙය ආයුඃ (ආයුෂය/ජීවිතය) සහ වේද (විද්‍යාව/දැනුම් පද්ධතිය) යන සංස්කෘත වදන් දෙකෙහි එකතුවක්.

මෙය පැරණි ඉන්දියාවේ වසර 5000කට පමණ එපිට සිට භාවිතා වන අති විශිෂ්ඨ වෛද්‍ය ක්‍රමයක්. හැබැයි වෛද්‍ය ක්‍රමයක් ලෙස සලකනවාටත් වඩා මෙය දර්ශනයක් බව පැවසීම බොහෝ සාධාරණයි. මෙම දර්ශනයේ විශිෂ්ඨ බව නිසාම ආයුර්වේදය සාකල්‍යවාදී වෛද්‍ය දර්ශනයක් (Holistic medical system) ලෙස දැක්වෙනවා.

පුරාතන ඉන්දියාව ආශ්‍රිතව ගොඩ නැඟුණු ශිෂ්ඨාචාර මිල කළ නොහැකි දැනුම් සම්භාරයක තෝතැන්නක්. ආයුර්වේදය එයින් කොටසක් පමණයි. ඒ කාලයේ වාසය කළ අධ්‍යාත්මික මට්ටමින් ඉහළ සෘෂිවරුන් හෙවත් යෝගීන් විසින් මෙය අවබෝධ කළ අතර මුල් අවස්ථාවලදී මුඛ පරම්පරාගතව ගුරුවරුන්ගෙන් ගෝල පරම්පරාවට මෙම වෛද්‍ය දැනුම සම්ප්‍රේෂණය වී ඇති බව පැවසෙනවා. පසු කාලීනව මෙය ග්‍රන්ථාරූඪ වූ අතර වර්තමානය තෙක්ම එම ග්‍රන්ථ ආශ්‍රිත දැනුම මෙම වෛද්‍ය ක්‍රමයේදී භාවිතා වෙනවා.

ආයුර්වේදය සම්බන්ධව පැරණිම ලියැවිලි හමුවන්නේ වේද ග්‍රන්ථ වලින්. මේ වේද ග්‍රන්ථ ලොව පැරැණිම සාහිත්‍ය ග්‍රන්ථයන් ලෙස සැලකෙනවා. ඉන්දියානු ශිෂ්ඨාචාරය ආශ්‍රිතව ඇතිවූ බොහෝ දැනුම් පද්ධතීන් මේ වේද ග්‍රන්ථ වල ලියැවී තිබෙනවා. 

පුරාතන ඉන්දියානු සංස්කෘතිය සැලකීමේදී ප්‍රධාන වේද 4කට බෙදා දැක්වෙනවා. ඒවා නම් සෘග් වේදය, යජුර් වේදය, සාම වේදය, අථර්ව වේදය ලෙස නම් වෙනවා. මෙම ග්‍රන්ථ වල විවිධ දර්ශන, යන්ත්‍ර මන්ත්‍ර, තම ජීවිතයේදී මිනිසා වෙසින් පිළිපැදිය යුතු සිරිත් විරිත්, ආධ්‍යාත්මික දියුණුව සලසා ගන්නා ආකාරය වැනි දෑ ගැන අඩංගු වෙනවා. සරලවම කියනවානම් කෙනෙකුගේ උපතේ සිට මරණය දක්වා යහපත් ලෙස ජීවිතය ගත කළයුතු ආකාරය ගැන දැනුම මෙහි අඩංගු වනවා. 

ආයුර්වේදය යනු එම වේද අතුරින් අථර්ව වේදයෙහි උප වේදයක් ලෙස ගැණෙන දැනුම් පද්ධතියක්. මෙම වේද ග්‍රන්ථගත ආයුර්වේද දැනුම පසු කාලීනව විවිධ ආචාර්‍යවරුන් විසින් ග්‍රන්ථගත කරනු ලැබුවා.

පහත දැක්වෙන්නේ ආයුර්වේදයෙහි ප්‍රධානම සංහිතා ග්‍රන්ථ (Main texts) ලෙස සැලකෙන ග්‍රන්ථ 3යි.

            1. චරක සංහිතාව
            2. සුශෘත සංහිතාව
            3. අෂ්ඨාංග හෘදය සංහිතාව

මේ ආයුර්වේදය අංග 8කින් සමන්විතයි. එබැවින් එය අෂ්ඨාංග ආයුර්වේදය ලෙස හැඳින්වෙනවා. එම අංග 8 පහත ලෙස දැක්විය හැකියි.

             1. ශල්‍ය තන්ත්‍රය
             2. ශාලාක්‍ය තන්ත්‍රය
             3. කාය චිකිත්සා තන්ත්‍රය
             4. අගද තන්ත්‍රය
             5. කෞමාරභෘත්‍ය තන්ත්‍රය
             6. භූත විද්‍යා තන්ත්‍රය
             7. රසායන තන්ත්‍රය
             8. වාජීකරණ තන්ත්‍රය

මෙම අංග 8 මඟින් මිනිසාගේ උපතේ සිට මරණය දක්වා සෞඛ්‍යමත්ව ජීවිතය ගත කිරීමට අවශ්‍ය සියළුම ප්‍රතිකාරයන් (කායික සහ මානසික) ගැන සවිස්තරාත්මකව පැහැදිලි කෙරෙනවා.

මේ අංග 8 හි අඩංගු වන කරුණු ගැන ඉදිරියේදී සාකච්ඡා කරමු.

තුති.

Thursday, July 12, 2018

ඇරඹුම..


ආයුබෝවන්..!!

මේ ඇරඹුම ය. 
මෙම බ්ලොගය ඇරඹීමෙහි මූලිකම අරමුණ වන්නේ ආයුර්වේද හා දේශීය වෙදකමෙහි වටිනා භාවිතයන්, ඖෂධ වර්ග හා විවිධ රසමුසු කරුණු පිළිබඳව ලිවීම ය. 
නමුදු, මා ජීවිතයේදී අත්දකින, ඔබටද අවැසි වේ යැයි හැඟෙන දෑ ද මෙහි ලියන්නෙමි. කියැවීම හෝ හැරයාම ඔබට බාර ය.

තුති..